Description

මේ පොත මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා නෙදර්ලන්තයේ ලයිඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරන ලද නිබන්ධනයේ “පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම (පධානඝර) ” නම් සිංහල අනුවාදයයි. එම නිබන්ධනය Buddhist Meditation Monasteries of Ancient Sri Lanka නමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එහි මතක සටහන්හි කොටසක් (අංක 10) ලෙස 1998 වසරේ දි සම්පූර්ණයෙන් ම ප්‍රකාශයට පත් කරන ලද අතර, මේ වන විට වසර 23ක් ගත වී ඇත. මින් අදහස් වනුයේ මේ කාල පරිච්ජේදය තුළ මෙම විෂයයට අලුත් දැනුම් එකතු වී තිබිය හැකි බවයි. කෙසේ වුවත් මේ අනුවාදය මුල් පිටපත පදනම් කර ගෙන අලුත් දැනුම් එකතු කිරීමකින් තොර ව ලියා ඇති බව පාඨකයන්ගෙන් අවධානයට යොමු කරන අතර මෙය තද් මාතෘකාවට අදාළ වූ සිංහල පිටපතක් සඳහා පැවැති ඉල්ලුම ඉටු කිරීමට දැරූ උත්සාහයක් ලෙස සැලැකිය යුතු ය.
මේ පොත පරිවර්තනය කිරීමේ දී යම් යම් අඩු පාඩු සිදු ව තිබිය හැකි වුවත් පහත කරුණු පිළිබඳ වූ පාඨක අවධානය විශේෂයෙන් යොමු කිරීමට කැමැත්තෙමි. මෙවැනි පුරාවිද්‍යා නටබුන් සඳහා ‘පධානඝර’ හෝ ‘ආරණ්‍ය සේනාසන’ යන යෙදුම් වෙනුවට ‘භාවනාරාම’ යන යෙදුම මෙහි භාවිත කෙරෙන්නේ කවර හෙයින් දැයි මේ පොතේ ප්‍රධාන කොටසෙහි පැහැදිලි කර ඇත. භාවනාව යනු බුදුන් වහන්සේගේ මූලිකම ඉගැන්වීමක් වන අතර, මේ ආරාම ප්‍රභේදය නිර්මාණය කර ඇත්තේ එකී කාර්යය පහසු කිරීම ප්‍රධාන අරමුණ කරගෙන බව අපගේ නිගමනයයි. ඒවා භාවිත කළ, භාවනාවට කැප වූ භික්ෂූන් වහන්සේගේ ජීවිතය බෞද්ධ ඉගැන්වීම්වල එන ‘ධුතංග’ (ascetics) පිළිවෙත් අනුගමනය කරන්නන් ලෙසත් එහෙයින් ම උන්වහන්සේ ධුතංගධාරින් ලෙසත් එම සංසිද්ධිය ‘ධුතංගවේදය’ (asceticism) ලෙසත් මෙම ග්‍රන්ථයේ දී අනුවාදනය කොට ඇත. මේ සඳහා පාරිභාෂිතයේ විවිධ පරිවර්තන සහ අර්ථකථන තිබිය හැකි වුවත් එවැනි විවිධ අදහස් නිසා පොතේ අන්තර්ගතයේ වටිනාකම් නිෂේධනය විය නොහැකි බව මම විශ්වාස කරමි.
ඉංගිරිසි බසින් ප්‍රකාශිත මුල් කෘතියේ සිංහල පරිවර්තනයක් අනුවාදයක් කරන ලෙස ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වු අතර, ඒ සැමට මගේ ගැඹුරු ප්‍රණාමය හිමි වේ. පොතේ පරිවර්තනයක්/ අනුවාදයක් කිරීමට අවසර දීම ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට ද සිංහල අනුවාදය කියවා බලා සංශෝධන ඉදිරිපත් කළ තරුණ භාෂාඥයෙකු වන ජයත් පියදසුන් මහතාට ද මාගේ කෘතඥතාව පළ කරමි. තවද අවසන් සෝදුපත් කියවා අදහස් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය පූජ්‍ය හිණිකටුවැවේ විපුල හිමියන්ට ද මගේ කෘතඥතාවයද පළ කරමි. මෙම පොත ප්‍රකාශනයට පත් කිරීමේ කටයුත්ත භාරගත් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ අනුරාධ පියදාස හා චන්දිම අඹන්වල මහතුන්ට මගේ කෘතවේදී ස්තුතිය පුද කරමි.
ගාමිණී විජේසූරිය
239/2, විම්බල්ඩන් කෝර්ට්, හිල් වීදිය, දෙහිවල.
මෙය පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ ප්‍රකාශනයකි.
Reviews
There are no reviews yet.